අපේ කතාව

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ අම්බලන්ගොඩ ප්‍රදේශය රූකඩ ගමන් මගේ ප්‍රධාන මංසලයි. සාක්‍ෂි වලට අනුව රූකඩ පුරාවෘතයට පිවිසිය හැක්කේ ක්‍රි.ව. 1830 වර්ෂයේ සිටයි. අම්බලන්ගොඩ කන්දේගොඩ පොඩිසිරිනා ගුරුන්නාන්සේ රූකඩ කලාවේ වැදගත් පුරෝගාමියෙකු ලෙසත් ඔහු විසින් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 1850 වර්ෂයේදි සංවිධානය කරගත් බවත්, රූකඩ නාට්‍ය රංග ශාලාවක රග දැක්වීමට අවශය පරිදි වේදිකා සැරසිලි හා රංග භාණ්ඩාදිය මෙන්ම සංගීතයද විධිමත් ලෙස සකස් කර ගත්තේ ඔහු විසින් බව පිළිගත් මතය වේ. පොඩිසිරිනා තුරුතුමාගේ දෙමාපියන් විසින් ද “දක්‍ෂිණ ලංකා රූකඩ” නමින් රූකඩ කණ්ඩායමක් පවත්වාගෙන ගිය බව පැවසේ.

කෙසේ වෙතත් දකුණුලක අම්බලන්ගොඩ, බලපිටිය විසුවෝ කලාවට උපන් හපන්කම් ඇත්තෝ වූහ. නාඩගම් කලාව අභාවයට යාමත් සමග එයින් පන්නරය ලබාගත් කලාවක් වශයෙන් හඳුනා ගන්නා රූකඩ කලාවක් වශයෙන් හඳුනා ගන්නා රූකඩ කලාව 1952 වන විටත් අම්බලන්ගොඩටම කේන්ද්‍රගත වූ රූකඩ කණ්ඩායම් පහක් විසින් පෝෂණය කරන ලද බව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා ඔහුගේ පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.

කේ. දිසංචිනා හා ජී. පුල්ලියා යන දෙමහල්ලන්ට දාව උපන් කන්දේගොඩ පාළුවත්තේ පදිංචි ව සිටි පොඩිසිරිනා ගුරුන්නාන්සේ අම්බලන්ගොඩ නූල් රූකඩ කලාවේ ආරම්භකයා හා පුරෝගාමියා වේ. එකල අම්බලන්ගොඩ, කන්දේගොඩ, පරගහතොට යන ප්‍රදේශවල රූකඩ කැපීම විනෝදාංශයක් ලෙස කරන්නවුන් සිට ඇත.

තැනින් තැන සිටි ඒ අය එක් කරමින් රූකඩ නාට්‍ය කණ්ඩායමක් ලෙසට සකස් කිරීම සිදු කර ඇත්තේ පොඩි සිරිනා ගුරුතුමා විසිනි. ඔහුගේ පියා පමණක් නොව සීයාද රූකඩ ශිල්පීන් බව පිළි ගන්නා මතයකි. ජේමිස් හා ඩැනියෙල් යනු පොඩිසිරිනා ගුරුතුමාගේ පුතුන් දෙදෙනාය.

19 වන ශත වර්ෂයේ අග භාගයේදී (1870 දශකයේදී) මෙරටට පැමිණි වේල්ස් කුමාරයා ඉදිරියේදි බගතලේ වලව්වේදී පොඩිසිරිනා ගුරුන්නාන්සේ විසින් රූකඩ සංදර්ශනයක් ඉදිරිපත් කර ඇත. එය ඇහැලේපොල නාඩගම වූ බවත් එයින් සතුටට පත් වූ රජ කුමරු මුදලින් රු. 500/= ක් හා රන් පදක්කමක් ප්‍රදානය කර ඇත. මෙය රූකඩ කලාව වෙනුවෙන් කරන ලද පලමු ඇගයීම මෙන්ම ප්‍රථම රන් පදක්කමද වේ.

නූල් රූකඩ නාට්‍ය කලාවේ නිර්මාතෘ ගංවාරි පොඩිසිරිනා ගුරුතුමා
ගංවාරි ජේමිස් කලාකරුවා සහ ඔහුගේ දෙවන පුත්‍රයා

මේ ආකාරයට නූල් රූඩ කලාවේ පාරම්පරික එෛතිහාසික තොරතුරු සම්බන්ධයෙන් විමසීමේදී බෝගහවත්තේ දානියෙල් හා මානිස්, කැපුඇල කන්දේ ඕදිරිස්, අම්පෙ චාර්ලිස්, සිව්වාගුරු වෛද්‍යචාර්ය සරනේරිස්, ජම්බුවත්තේ ජේමිස් හා හිඹුටුගොඩ ජේමිස් යන්නවුන් පොඩිසිරිනා ගුරුන්නාන්සේගේ සමකාලීනයන් ලෙසට හඳුනා ගත හැක.

පොඩිසිරිනා ගුරුන්නාසේගේ පසුව ඔහුගේ පුතුන් දෙදෙනා වන ඩැනියෙල් හා ජේමිස් යන දෙදෙනා රූකඩ කලාවේ ප්‍රමුඛයෝ වූහ වර්තමානයේදී පවතින තවත් රූකඩ පරම්පාරවක මුල් පුරුක වන ලව්නේරිස්, ඩැනියෙල් හා ජේමිස් යන්නවුන් ගේ සමකාලීන රූකඩ ශිල්පියකු වේ.

වර්තමානයේද පොඩිසිරිනා ගුරුතුමාගේ පරපුරෙන් පැවත එන්නන් අම්බලන්ගොඩ රුකඩ කලාව පවත්වාගන යන අතර රූකඩ ශිල්පි ඩැනියෙල්ගේ පුත් මාටින් සේපාල මහතා (ජීවතුන් අතර නැත) “ සීගිරි” නමින්ද, රූකඩ ශිල්පී ජේමිස්ගේ පුතුන් වන ජී ප්‍රෙඩී (ජීවතුන් අතර නැත) හා ජී. විජේසිරි “ගාමිණී” නමින්ද, ජී. ප්‍රේමින් “ සාරංගා” නමින්ද, ජී ලව්නේරිස් රූකඩ ශිල්පියාගේ පුතුන් වන ජී. නලින්ටන් “අනුර” නමින්ද, ජී. විපුල “අරුණ” නමින්ද රූකඩ කණ්ඩායම් පවත්වfාගන යති. එමෙන්ම රූකඩ ශිල්පී ජී. ප්‍රේමීන් මහතාගේ පුතෙකු වන ජී. ඉන්දික ගාමීනි ද, රූකඩ ශිල්පී ජී. විජේසිරි මහතාගේ පුතා වන ජී. සුපුන් ගාමිණී ද වර්තමානයේ රූකඩ ශිල්පීන් වශයෙන් රූකඩ කලාවේ උනන්නතිය උදෙසා කටයුතු කරනු ලබයි. ඊට අමතරව පාරම්පරික නොවන රූකඩ ශිල්පීන් විසින්ද රූකඩ කණ්ඩායම්් පවත්වාගන යය.ි ඔවුන් එස්. චාර්ලිස්, එල්.පී. ලක්සිරි හා ජී. නිමල් වශයෙන් හඳුනාගත හැති අතර මේ සියල්ලෝම පොඩිසිරිනා ගුරුතුමාගේ මග යන්නෝ වෙති.

මීට අමතරව බුත්තල, මාතර, යක්කල, පානදුර, කෑගල්ල, කුරුණෑගල හා මාතලේ ප්‍රදේශ වලද නූල් රූකඩ කණ්ඩායම් දැකගත හැකිය. තවද පොඩිසිරිනා ගුරුන්නාන්සේගේ සම්ප්‍රදායට වෙනස් වූ අත් රූකඩ කලාවේ (Muppet)යෙදෙන අම්බලන්ගොඩටම මූල බීජ වූ එස්.ධර්මසිරිද (ජීවතුන් අතර නැත) පොඩිසිරිනා ගුරුතුමාගේ පාරම්පරික උරුමයකි.

ලංකාව පුරා විසිරී පවත්නා නූල් රූකඩ මෙන්ම වෙනත් රූකඩ වර්ග වල වුවද (අත් රූකඩ) මූල බීජය අම්බලන්ගොඩ, බලපිටිය ප්‍රදේශ බවත් එහි පරම්පරාවෙන් ද නූල් රූකඩ පරම්පරාවට හිමිකම් කියන බවත් පැහැදිලි වේ.

විශේෂයෙන්ම අම්බලන්ගොඩින් පාරිබාහිර වන රූකඩ කණ්ඩායම් අවාව විවාහ මගින් අම්බලන්ගොඩටම සම්බන්ධ වූ අම්බලන්ගොඩින් සංක්‍රමණය වූවන් විසින් පනගන්වන ඒවා බවට මේ අතර ජේමිස්, ඩැනියෙල් වැන්වුන් හා සමකාලීනකු වූ ජයනේරිස් විසින් පසුව සිය රූකඩ භාණ්ඩ විකුණා ඇති අතර ඒවා වර්තමානයේ යක්කල ගෝමිස් විසින් “ජයන්ති” රූකඩ නමින් කණ්ඩායමක් පවත්වාගෙන යයි.

ලංකාව පුරා විසිරී පවත්නා නූල් රූකඩ මෙන්ම වෙනත් රූකඩ වර්ග වල වුවද (අත් රූකඩ) මූල බීජය අම්බලන්ගොඩ, බලපිටිය ප්‍රදේශ බවත් එහි පරම්පරාවෙන් ද නූල් රූකඩ පරම්පරාවට හිමිකම් කියන බවත් පැහැදිලි වේ.

ස්ථානය

නූල් රූකඩ කලාව පිළිබඳව එහි ජන්ම භූමිය පිළිබඳව විමිසීමේදී විවාදයෙන් තොරවම එය අම්බලන්ගොඩට ආවේණික කලාවක් වශයෙන් හඳුනා ගනී. එය එසේ වුවත් නූතන පරිපාලනමය සීමාවන්ට අනුව ගත්කල රූකඩ කලාවේ ජන්මය අම්බලන්ගොඩ නොව බලපිටිය බල ප්‍රදේශය තුළ සිදූව ඇත. ඒ අනුව රූකඩ කලාවේ ජන්මය අම්බලන්ගොඩ නොව බලපිටියට හිමි වූවක් යයි කීම සාධාරණ වේ. එය එසේ වුවද ශ්‍රී ලංකිකයන් හට “රූකඩ ” යන නම ඇසූ පමණින් ඔවුන්ගේ මතකයට නැගෙන්නේ “අම්බලන්ගොඩයි” අම්බලන්ගොඩ යන නම ඇසූ පමණින් ඔවුන්ගේ මතකයට නැගෙන්නේ “රූකඩයි” ඒ තරමටම අම්බලන්ගොඩ හා රූකඩත් රූකඩ හා අම්බලන්ගොඩත් එක්ව තිබේ.

මෙයට හේතුව වී ඇත්තේ වර්තමානයේ පරිපාලන සීමාවන් විවිධත්වයක් ගත්තද, අතීතයේදී අම්බලන්ගොඩ හ බලපිටිය එකම ප්‍රදේශයක්ව තිබූ හෙයිනි. ඒ අනුව දකුණුලක දකුණුලක (Southern Province) ගාලු දිස්ත්‍රිකය (Galle Distrit) බලපිටිය (Balapitiya) ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වතුගෙදර (Wathugedara) පරගහතොට (Paragahatota) හා කන්දේගොඩ (Kandegoda) මෙන්ම බෝගහවත්ත (Bogahawatta) ග්‍රාමයන් රූකඩ කලාව හා සම්බන්ධයෙන් සුවිශේෂ වූ හිමිකම් දරයි.

ඒ අනුව පිහිටීම සම්බන්ධයෙන් විමසීමේදී අම්බලන්ගොඩ නොව බලපිටිය පිළිබඳව කරනු ලබන විස්තර කිරීම් වැදගත් කොට සැලකිය හැක. ඒ මන්දයත් නූල් රූකඩ කලාවේ උපත සිදුවූ බවට සැලකෙන්නේත් වර්තමානයේ පවා පාරම්පරික රූකඩ ශිල්පීන්ගේ පදිංචි වී සිටින්නේත් අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුළ නොව බලපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ වීම නිසාවෙනි. මෙකී බලපිටිය ප්‍රදේශය තුළ ඉහතින් සඳහන් කරන ලද ග්‍රාමයන්හි පදිංචිව සිටින, රූකඩ කලාවේ නිරතවන රූකඩ කණ්ඩායම් 06ක් පමණ දැකගත හැකි අතර කන්දෙගොඩ ග්‍රාමය රූකඩ කලාවේ ඡන්ම භූමිය වන බවද අනාවරණය වේ.

අතීත තත්වය

ක්‍රි.ව. 19 වන ශත වර්ෂය්දී මැද භාගයේදී ක්‍රමානුකූලව ආරම්භයක් ලැබූ නූල් රූකඩ කලාවේ අතීත තත්වය සම්බන්ධයෙන් විමසීමේදී එය සරුසාර වූවක් බව පෙනේ. 1932 මාර්තු 07 වන දින ඵල වූ “කලම්බු ක්‍රොනිකල්” පුවත්පත වාර්තා කරන අන්දමට එවකට රූකඩ කලාව සම්බන්ධව යම් කිසි අවබෝධයක් ලබා ගත හැකිය. 1870 දී එඩන්බරෝ ආදිපාදවරයා ලංකාවට පැමිණි විටදී කොළඹ බගතලේ නම් වලව්වක රූකඩ නට්‍ය රඟ දක්වා ඇති බවත් සඳහන් වේ. එම සිදුවීමෙන් පසුව ශ්‍රී ලංකිකයන්ගේ අවධානය දිනාගත් රූකඩ කලාව සිය කලාව පෝෂණය කිරීම එතැන් සිට පටන් ගෙන ඇත.

ක්‍රි.ව. 20 වන සියවසේ මුල් සමයේදී එනම් 1922 දී රූකඩ කලාවේ ස්වර්ණමය යුගයක් සනිටුහන් වේ. බි්‍රතාන්‍යයේ ඔටුන්න හිමි වේල්ස් කුමරුගේ ලංකාගමනය හේතුවෙන් කොළඹ වික්ටෝරිය (විහාරමහා දේවි) උදා්‍යානයේ පැවැත්වූ උත්සවයේදී රූකඩ සංදර්ශනයක් පැවැත්වීමට පොඩිසිරිනා ගුරුතුමා හට අවස්ථාව ලැබී ඇත. ඇහැලේපොළ නාටකය රැගත් මෙම රූකඩ සංදර්ශනයෙන් සතුටට පත් කුමරු රු.500/= ක් හා රන් පදක්කමක්ද පොඩි සිරිනා ගුරුතුමා හට ප්‍රදානය කොට ඇත.

පසුකාලීනව ලංකාවට නිදහස ලැබී ප්‍රථම හා දෙවන සංවත්සරයෙන් හිදී ද රූකඩ රඟ දැක්වීම් කර තිබේ. ඒ අනුව 1949 දි ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා හා අග්‍රාණ්ඩුකාර හෙන්රි මුවර් යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවයකදී රූකඩ ශිල්පී ජේමිස් මහතා ප්‍රමුඛ කණ්ඩායම් විසින් පවත්වන ලද රූකඩ සංදර්ශනයෙන් සතුටට පත් වූ අග්‍රාණ්ඩුකාරවරයා රන් හා රිදී පදක්කම් දෙකක් පිරිනමා ඇත.

වර්තමානයේ මෙන් නොව එවකට සුවිශේෂී උත්සව අවස්ථාවන් සඳහා ද රූකඩ සංදර්ශන පැවැත්වීම සිදු කර ඇත. ප්‍රධාන පෙළේ ඉහළ ධනවතුන්ගේ මංගල උත්සව සඳහා රූකඩ රඟ දැක්වීම සිදු කිරිීම ඒවාට උදාහරණ වේ. ඊට අමතරව කෝට්ටේ, කැළණි විහාරස්ථාන වල මෙන්ම නුවර දළදා පෙරහැර සමයේදී පවා රූකඩ සංදර්ශන සඳහා විශාල වශයෙන් කැඳවීමේ ලැබී ඇත. ඒ අනුව 18 වන සියවස අගභාගයේ සිට 19 වන සිය වස මැද භාගය දක්වා වූ කාලය තුල රූකඩ කලාව ස්වර්ණමය යුගයක් පසුකර ඇති බව පැහැදිලි වේ.

විශේෂයෙන්ම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහභාහු වැනි ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය නිර්මාණයන්ට පවා මූලිකත්වය සැපයූ “ගුණසිංහ චාර්ලිස් ගුරුන්නාසේ” ජී ජේමිස් ප්‍රමුඛ රූකඩ කණ්ඩායමේ සාමාජිතයෙක්ව සිට ඇත. ලංකාවේ චිත්‍රපට කලාව සඳහා ද රූකඩ කලාව දායක කරගෙන ඇත. විශේෂයෙන්ම “කවට අන්දරේ” චිත්‍රපටය මෙන් ම“රේඛාව” චිත්‍රපටයටද රූකඩ සංදර්ශනයක් රඟ දැක්වෙන කොටස් ඇතුළත් කොට නිර්මාණය කර ඇත.

මේ ආකාරයට පොඩිසිරිනා හා ජේමිස් ගුරුන්නාන්සේලාගේ යුගයන් තුල රුකඩ කලාවේ නියලී සිටි ශිල්පීන් සිය වෘත්තිය වශයෙන් රූකඩ රඟ දැක්වීම් වල නිරකව සිටි අතර වසර පුරාම (දෛනිකව නොවූවත්) රූකඩ සංදර්ශන පැවැත්වීමට ඔවුනට ආරාධනා, ඉල්ලීම් කැඳවීම් ලැබිී ඇත.

එඩිම්බරෝ ආදිපාදිවරයා වේල්ස් කුමාරයා මෙන්ම 1962දී ලංකාවට පැමිණි චෙකොස්ලොවැකියානු විශේෂඥවරියක වූ “ජානා හවුලිකෝවා” මෙන්ම ඉන්පසු රූකඩ පුරුදු පුහුණූ කිරීම් සඳහා ලංකාවට පැමිණි “ඊවා හවුලිකෝවා” පවා ලංකාවේ රූකඩ දැක විශ්මයට පත්වීමෙන් අනාවරණය වන්නේ ලංකාවේ රූකඩ වල විශේෂත්වයකි. මෙම දියුණුවට මෙම සංවර්ධනයට හේතු වූ කරුණු රැසක් වේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නූර්තිය ජනප්‍රිය වීමක් සමඟම කොළඹ තිබූ නාඩගම් කලාව නූර්තියට ඉඩදී මුහුදුබට ප්‍රදේශයට ගිය අතර එම ප්‍රදේශ වලදී නාඩගම පිරිහීමත් සමුග එයින් පන්නරය ලැබු රූකඩ කලාව පෝෂණය වි ඇත.

නාඩගම් කාලවේ මෙන් නොව අඩු ශිල්පීන් ප්‍රමාණයකින් සංදර්ශණයක් කිරීමේ හැකියාවද රූකඩ කලාව ව්‍යාප්ත වීමට හේතුවක් වූයේ සංවිධාකයන්ට එය පහසුවත් හා ලාභදායී වීම හේතුවෙනි.් සජීවී අයුරින් සංදර්ශණයක් කිරීමේ හැකියාව ද රූකඩ කලාව ජනප්‍රිය වීමට හේතුවකි. උදාහරණ ලෙස ඇහැලේ පොළ නාට්‍යයේ දරුවන් මැරීම හා චන්තපානි නාට්‍යයද දැක්විය හැක. එසේම කෝලම් නාට්‍ය හා නාඩගම් රසවිඳ ඉන් සෑහීමකට පත් නොවූ ප්‍රේක්‍ෂකයා හට රූකඩ නාට්‍ය තුළින් නවමු වින්දනයක් ලබා ගත හැකි වීම මෙහි ලා විශේෂත්වයක් වී ඇත. එසේම බොහෝ විට පන්සල් වල හෝ වෙනත් බොහෝ අවස්ථාවන්හිදි ආධාර උපකාර ලබා ගැනීමේ අරමුණීන් පවත්වනු ලබන රූකඩ සංදර්ශනයක් ද නිසාවෙන් මෙම කලාව බොහෝ ලෙස ජනප්‍රිය වීම සිදු වී ඇත.

වර්ථමාන තත්වය

අතීතයේ මෙන් නොව වර්තමානයේදී රූකඩ සංදර්ශණයක් දැකිය හැකි වන්නේද කලාතුරකිනි. ඒ තරමටම රූකඩ සංදර්ශන වර්ථමානයේදී ඉතා විරල වී ඇත. බොහෝ විට මේවා වෙසක් , පොසොන්, ඇසළ වැනි විශේෂ පොහෝ දිනයන්ට පමණක් සීමා වී ඇත. එදා මෙදා නොව අද රූකඩ සංදර්ශණයකදී ලැබෙන ආදායම ඉතාම අඩු බව ශිල්පීන් පෙන්වා දේ.

අතීත කලාකරුවන් රූකඩ වෘත්තියක් වූ අතර එහිදී ඔවුන්ට කිසිඳු විවේකයක් ලද නොහැකි තරමටම ලංකාව පුරා ගමින් ගමට සංදර්ශණ ඉදිරිපත් කිරීම සිදුවී තිබුණි. නමුත් අද රූකඩ කලා කරුවන් සිය කලාව වෘත්තීමය වශයෙන් පවත්වාගෙන යාමේ කිසිදු ඉඩ ප්‍රස්ථාවක් නොමැත. ඒ මන්දයත් රූකඩ සංදර්ශණ පැවැත්වීමේ හිඟකම නිසාවෙනි.

ඉතා සුළු මුදලකට රූකඩ සංදර්ශණයක වටිනාකම තීරණය කිරීමට බොහෝ දෙනා වෙහෙස දරන අතර ඇතැම් අවස්ථාවලදී රූකඩ සංදර්ශණ පැවැත්වීමේදී වැයකල මුදලත් ආවරණය කරගත නොහැකි තත්වයන්ද උදාවේ. මෙවැනි හේතු නිසාවෙන් රූකඩ කලාකරුවා විශාල ආර්ථිකමය අවදානමකට මුහුණ දි සිටින අතර රූකඩ කලාවෙන් ඉවත් වී වෙනත් රැකියාවන් කරා යොමුවන අකාරයක්ද වර්ථමානයේ දැකිය හැකිය.

ඒ අනුව නූතන කලාකරුවාට කලාව එපා වී යන අයුරක් දක්නට ලැබෙන අතරම ඉතාම සුළු පිරිසක් පමණක් මෙම කලාවේ රැදෙමින් එය රැක ගැනීමට බොහෝ වෙසක් දරුණු ලබයි.

1983 දෙසැම්බර් මස සංස්කෘතික කටයුතු අමා්‍යංශය “රූකඩ වැඩ පොළක්” ආරම්භ කල අතර මහාචාර්ය රූඩි කොරන්ස් ඇතුළු උපදේශක වරු කිහිපදෙනෙක් යටතේ “ශ්‍රී ලංකා රූකඩ කලාකරුවන්ගේ සංගමය” පිහිටුවීමද රූකඩ කලාව නගා සිටුවීමට ගත් උත්සහයක් ලෙස පෙන්වා දිය හැකි.

කෙසේ නමුදු ලෝකයේ අනෙකුත් රටවල පවතින රූකඩ කලාවන් හා කරට කර තරග කල හැකි මට්ටමේ ගුණාත්මක වටිනාකම් වලින් යුත් ශ්‍රී ලංකික නුල් රූකඩ කලාව මේ වන විට ලංකාව තුළ සතුටුදායක නොවන මට්ටමේ ක්‍රියාකාරීත්වයක් පවතී. එබැවින් ජාතික උරුමයක් වන මෙම කලාව නගා සිටුවීම සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් රූකඩ ශිල්පීන් සමග එක් ව සිදු කිරීම ඉතාමත් යෝග්‍ය වනු ඇත.